Thursday, February 2, 2012

මිනි පොල් ත්‍රිකෝණයක් තංගල්ලෙන් හඳුනා ගනී



ChamalR
මිනි පොල් ත්‍රිකෝණයක් තංගල්ලෙන් හඳුනාගෙන ඇති අතර රටට ම පොල් සැපයීමට මිනි පොල් ත්‍රිකෝණය ප්‍රමාණවත් බවත් ඒ නිසා ජාතියේ නාමයෙන් පොල් වගාවට කැප විය යුතු බවත් කථානායක චමල් රාජපක්ෂ මහතා පැවසීය.

කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටියේ දී ආරම්භ කෙරුණු කප්රුක පුරවර සමාරම්භක වැඩසටහනට එක් වෙමිනි.

කථානායකවරයා මෙහි දී තවදුරටත් අවධාරණය කළේ හඳුනාගත් මිනි පොල් ත්‍රිකෝණයෙන් නිසි ප්‍රයෝජනය ගැනීම ජාතියේ යුතුකමක් වන බවයි. දුප්පත්කම තුරන්කර, සියලු ම දෙනාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙම වැඩපිළිවෙළ උපයෝගීකර ගත යුතු ය. සියලු ම ජනතාවගේ ආදායම් ඉහළ යාම දුප්පත්කම තුරන් කිරීමට ප්‍රධාන හේතුවක් වනු ඇත.

දැනට හඳුනාගෙන ඇති තංගල්ල ආශ්‍රිත මිනි පොල් ත්‍රිකෝණයේ එක් පොල් අක්කරයකින් පොල් ගෙඩි 4000ත් 5000ත් අතර, අස්වැන්නක් ලබාගත හැකි වන අතර මෙම ප්‍රදේශවලට සුදුසු හා වැඩි අස්වැන්නක් ලබාගත හැකි පොල් ප්‍රභේද හඳුනාගැනීම පිණිස පොල් පර්යේෂණ ආයතනය පර්යේෂණ ගණනාවක් ම ආරම්භ කර තිබේ.

පොල් ආශ්‍රිත නිෂ්පාදනවලින් ජනතාවට වැඩි ආදායමක් උපයා ගත හැකි ආකාරය පෙන්වා දුන් කථානායකවරයා , සෑම කාර්යයක් වෙනුවෙන් ම රජයට පුද්ගලයින් පසු පස සිටිය නොහැකි බව පෙන්වා දුන්නේ ය. එමෙන්ම පුද්ගලයින් කිහිපදෙනෙකු අතර පවතින පොල් සඳහා මිල නියම කිරීමේ ඒකාධිකාරිය බිඳ හෙළීමේ ක්‍රමවත් වැඩ පිළිවෙළක් දියත් කළ යුතු බව ද කථානායකවරයා අවධාරණය කළේය.

මෙහිදී පොල් වගාවේ මෙන් ම පොල් ආශ්‍රිත නිෂ්පාදනවල නිරත, 07 දෙනෙකු සඳහා සහන පදනම යටතේ කුඩා ලොරි බෙදාදීම ද වන සතුන්ගෙන් පොල් වගාවට වන හානි වළක්වා ගැනීම සඳහා වගාකරුවන්ට වායු රයිෆල් බෙදාදීම ද කප්රුක සමිති සඳහා චක්‍රීය අරමුදලක් වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම ද කථානායකවරයා සහ පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්ප කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

0 comments:

Post a Comment | Feed



 
^

Powered by BloggerKandy News Plus by UsuárioCompulsivo
original Washed Denim by Darren Delaye
Creative Commons License